ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගෙන් එල්ල වන බලපෑම් නොතකා පොලී අනුපාත වෙනස් නොකිරීමට ඇමරිකානු මහබැංකුව තීරණය කරයි.

ඇමරිකානු මහබැංකුව හෙ‍වත් ෆෙඩරල් සංචිතයේ ෆෙඩරල් විවෘත වෙළදපොළ කමිටුව හා ෆෙඩරල් ප්‍රතිපත්ති සම්පාදක කමිටුව මේ තීරණය ගෙන ඇත්තේ දින දෙකක් පුරා පැවති ප්‍රතිපත්ති රැස්වීමෙන් අනතුරුවයි.

රැස්වීමෙන් අනතුරුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ෆෙඩරල් අරමුදල් අනුපාතය සියයට 2.25 – 2.5 ත් අතර පරාසයක පවත්වාගෙන යාමට එහිදී තීරණය කළ බවයි.

පළමු කාර්තුවේ කුටුම්භ වියදම් වර්ධනය වී ව්‍යාපාරික ස්ථිර ආයෝජන පහළ ගිය ද මාර්තු මාසයේ සිට ශ්‍රම වෙළදපොළ තවදුරටත් ශක්තිමත් වන බවත්, ආර්ථික ක්‍රියාකාරකම් ස්ථීර වර්ධනයකින් ඉහළ යන බවත් ඇමරිකානු මහබැංකුව පවසයි.

නමුත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ  දැඩි ස්ථාවරය වුයේ පොලී අනුපාත අඩු කරමින් ආර්ථික වර්ධනය ඉහළ නැංවිය යුතු බවයි.

පොලී අනුපාත ඉහළ දැමීමට ඇමරිකානු මහබැංකුව ගත් තීරණය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ දැඩි විවේචනයට ලක්ව තිබේ.

සිය තීරණ සාධාරණීකරණය කරමින් ඇමරිකානු මහබැංකුවේ සභාපති ජෙරම් පවෙල් මහතා අවධාරණය කලේ මහබැංකුව දේශපාලන ආයතනයක් නොවන අතර කෙටි කාලීන දේශපාලන අරමුණු  තමන් සැලකිල්ලට නොගන්නා බවයි.

ඔවුන් සමඟ සාකච්ඡා නොකරන බවත්, මහබැංකුවේ  තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී එම අදහස් සැලකිල්ලට නොගන්නා බවත් මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම ප්‍රකාශ කළේය.