චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද (14) බෙයිජිං මහජන මහා ශාලාවේදී ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය.

ආසියානු ශිෂ්ටාචාර සංවාද සමුළුවට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා චීනයට පැමිණ සිටී.

පසුගිය මාසයේ ශ්‍රී ලංකාවේ සිදු වූ ත්‍රස්ත බෝම්බ මාලාවක් දැඩි ලෙස හෙලා දකිමින් චීනය, ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදීන් මර්දනය කිරීමට අනුබල හා සහය ලබා දෙන බව ෂී ජින් පිං මහතා එම හමුවේදී පැවසීය.

ශ්‍රී ලංකාව සමඟ එක් තීරයක් එක් මාවතක් පොදු සංවර්ධනය පිළිබඳ විශාල පරිමාණ ව්‍යාපෘති ඉදිරියට ගෙන යාමට චීනය කැමැත්තෙන් පසුවන බව ද හෙතෙම සඳහන් කළේය.

ආසියානු ශිෂ්ටාචාර සංවාද සමුළුව යන වේදිකාවක් මගින් දෙරට අතර ශිෂ්ටාචාර හුවමාරු ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බව ද චීන ජනාධිපතිවරයා කියා සිටියේය.

ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය මර්දනය කිරීමට චීනය ලබා දුන් අනුබල සම්බන්ධයෙන් ස්තුති පළ කරන බව මෛත්‍රීපාල සිරිසේන මහතා එම හමුවේදී පැවසීය.

ආසියානු ශිෂ්ටාචාර සංවාද සමුළුව ජාත්‍යන්තර හා කලාපීය අර්ථයන් තිබෙන බවත් එය පැවැත්වීම ශ්‍රී ලංකාවට ඉතා වැදගත් බවත් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පෙන්වා එහිදී දුන්නේය.

චීනය සමඟ එක් තීරයක් එක් මාවතක් පිළිබඳ සහයෝගතා අඛණ්ඩ ලෙස ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව කැමති බව ද හෙ‍තෙම සඳහන් කළේය.

හමුවෙන් අනතුරුව දෙරටේ නායකයන් දෙදෙනා ඉදිරියේ අදාළ සහයෝගතා ගිවිසුම්වලට අත්සන් තැබිණ.

ආසියානු ශිෂ්ටාචාර සංවාද  සමුළුව චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට බෙයිජින් හිදී පැ‍වැත්වේ.

ආසියානු රටවල් 47ක් සමග අනෙකුත් රාජ්‍යන් සහ කලාපයන් සමුළුවට සහභාගී වනු ඇත.

ආසියානු ශිෂ්ටාචාරයන් අතර අන්‍යෝන්‍ය අධ්‍යනය සහ හුවමාරුව සමුළුවේ තේමාවයි.

පිළිගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහය, සමාරම්භක උත්සවය, තේමාව විමසුම, ආසියානු සංස්කෘතික සැණකෙළිය සහ ආසියානු ශිෂ්ටාචාර සතිය ආරම්භය ද සමුළුවේ න්‍යායපත්‍රයට ඇතුළත්ව තිබේ.

පාස්කු ඉරිදා සිදු වූ අන්තවාදී බෝම්බ ප්‍රහාරයෙන් පසු ජනාධිපතිවරයා සහභාගි වන ප්‍රථම විදෙස් සංචාරය මෙයයි.