ආසියානු ශිෂ්ටාචාර සංවාද සමුළුව බෙයිජිංහිදී අද පෙරවරුවේ උත්කර්ෂවත් ලෙස ආරම්භ විය.

ශ්‍රී ලංකාව, කම්බෝජය, ග්‍රීසිය, සිංගප්පූරුව, ආමේනියාව යන රටවල නායකයෝ සහ රාජ්‍ය ප්‍රධානීහු, මොන්ගෝලියාවේ නායකයා මෙන්ම එක්සත් ජාතීන්ගේ යුනේස්කෝ සංවිධානය ඇතුළු ජගත් සංවිධානවල අධ්‍යක්ෂවරු එම සමුළුවට සහභාගි වෙමින් සිටිති.

‘ආසියානු ශිෂ්ටාචාර හුවමාරුව සහ පොදු ඉරණමක් සහිත ප්‍රජාව’ මැයෙන් පැවැත්වෙන සමුළුවට ආසියානු රටවල් 47ක සහ ආසියාවට බැහැර රටවල තරුණ තරුණියන්, ශාස්ත්‍රඥවරුන්, රාජ්‍ය නිලධාරීන් සහ ජගත් සංවිධානවල සාමාජිකයන්ගේ සහභාගීත්වය ආකර්ෂණය කර ඇත.

අද ආරම්භ වූ ආසියානු ශිෂ්ටාචාර සංවාද සමුළුව අමතමින් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රකාශ කළේ මානව ජාතිය පොදු අ‍භියෝග වලට මුහුණ දීම සඳහා ආර්ථික හා තාක්ෂණ ශක්තිය අවශ්‍ය වන අතර සංස්කෘතික හා ශිෂ්ටාචාර බලවේගයන් ද අත්‍යවශ්‍ය බවයි.

ආසියානු ශිෂ්ටාචාර සංවාද සමුළුව, ආසියාව හා ලෝකයේ ඒ ඒ රටවල් අතර සාධාරණ සංවාද පවත්වා හුවමාරු හා අන්‍යෝන්‍ය අධ්‍යයන පුළුල් කිරීමට මනා වේදිකාවක් බව හෙතෙම එහිදී සඳහන් කළේය.

ඔහු පැවසුවේ ආසියානු ජනතාව සුන්දර ජීවිතය කෙරෙහි දරන අභිලාෂයන් සැබෑ කිරීමට අපි උත්සාහ දැරිය යුතු බවයි.

ඒ ඒ රටවල් සමඟ ආසියානු සංචාරක ප්‍රවර්ධන සැළැස්ම ක්‍රියාත්මක කරමින් ආසියාවේ ආර්ථික සංවර්ධනය මෙන්ම ආසියානු ජනතාව අතර මිතුදම පුළුල් කිරීමට දායක වීමට චීනය කැමැත්තෙන් පසු වන බව ද හෙතෙම පැවසීය.

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද මෙම සමුළුවට සහභාගී වී සිටී.