ඇමති රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ජුනි මස 18,19 විවාදයට ගන්නා බව කතානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට දැනුම් දෙයි.

නමුත් මිට පෙර පැවති පක්ෂ නායක රැස්වීමේදී ආණ්ඩුව ලබාදුන් මෙම දින දෙකට විපක්ෂය විසින් විරෝධය දක්වනු ලැබිණ.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමේ දින සම්බන්ධයෙන්, අද උදෑසන පැවති පක්ෂ නායක රැස්වීමේදී ද උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

ඒ, අදාළ විවාදය විශේෂ තත්ත්වයක් ලෙස ගෙන කඩිනමින් පවත්වන්නැයි, විපක්ෂය කළ ඉල්ලීමත් සමගිනි.

නමුත් විවාදය සඳහා ආණ්ඩුව ලබා දී තිබෙන්නේ ජුනි මස 18 සහ 19 යන දින දෙකයි.

එම දින ආසන්න දිනයක් නොවන බව කියමින් පක්ෂ නායක රැස්වීමේදී විපක්ෂය විරෝධය දක්වා තිබේ.

විපක්ෂය ඉල්ලා තිබෙන්නේ, ජුනි මස 6 සහ 7 යන දින දෙක විවාදය සඳහා ලබාදෙන ලෙස ය.

මේ හේතුවෙන් පක්ෂ නායක රැස්වීම එකඟතාවයකින් තොරව අවසන් විය.