මහසොහොන් බලකායේ නායක අමිත් වීරසිංහ මහතා හෙට(29) දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සලනි පෙරේරා මහත්මිය අද නියෝග කළා ය.

අමිත් වීරසිංහ මහතා අත්අඩංගුවට ගැනුණේ, මහජන සාමය හා සංහිඳියාව කඩවන ආකාරයෙන් කටයුතු කළේ යැයි චෝදනා කරමිනි.

එම නඩුව අද කැඳවූ අවස්ථාවේදී සැකකරු සම්බන්ධයෙන් විමර්ශන කරන කොළඹ දකුණ විශේෂ විමර්ශන කොට්ඨාසය වෙනුවෙන් පෙනී සිටි පොලිස් නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියේ, සැකකරු සම්බන්ධයෙන් සෘජුව හෝ අන්‍ය ආකාරයකින් ජාතිවාදී හැඟීම් ඇති කිරීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක පනත යටතේ හා හදිසි නීති පනත යටතේ විමර්ශන කරන බවයි.

පසුගිය 14 වන දා හෙට්ටිපොළ ප්‍රදේශයේ ගැටුම් ඇති වීමට පෙර සැකකරු හෙට්ටිපොළ හා මහනුවර ප්‍රදේශවල රැස්වීම් පවත්වා මුස්ලිම් ජාතිකයින් කෙරෙහි වෛරය ඇති වන ආකාරයෙන් දේශන පවත්වා ඇති බවට මේ දක්වා කළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බව විමර්ශන නිලධාරීහු එහිදී අධිකරණයට පෙන්වා දුන්හ.