ජපානයේ දකුණු ටෝකියෝ හි බස් නැවතුම්පලක රැඳී සිටි පිරිසකට, පුද්ගලයෙකු තියුණු ආයුදවලින් පහර දී ඇත.

එරට වේලාවෙන් අද උදෑසන 8 ට පමණ ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

ප්‍රහාරයෙන්, ප්‍රාථමික පාසලක සිසුවියක් සහ වයස අවුරුදු 30 ක පමණ පුද්ගලයෙක් මිය ගිය බව එරට පොලිසීය පැවසුවා.

තවත් කුඩා දරුවන් ඇතුලු 15 කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර වයස අවුරුදු 40 ක් පමණ වන ප්‍රහාරය එල්ල කළ පුද්ගලයාද සිය දිවි හානි කරගෙන ඇති බව එරට පොලීසිය පවසනවා.

තුවාල ලැබුවන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් බලධාරින් පැවසුවා.

සිද්ධිය දුටුවන් පවසා ඇත්තේ අදාළ පුද්ගලයා එක්වරම බස් නැවතුම්පලේ සිටි පිරිසට තියුණු ආයුදවලින් පහරදුන් බවයි.

ජපානයේ මෙවැනි සිදුවීම් විරල අතර ප්‍රදේශවාසින් මේ හේතුවෙන් දැඩි කම්පනයට පත්ව ඇති බව විදෙස් වාර්තාවල සඳහන්.