රටේ ආරක්ෂක තත්ත්වය 99% ක් යහපත් බවට තමාට සහතික විය හැකි බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ සිදු කළ සාර්ථක මෙහෙයුම් ඊට හේතු වූ බවයි.

ඊයේ(27) විදෙස් තානාපතිවරුන් හමුවු අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, කැනඩාව, ජපානය, ජර්මනිය, ඔස්ට්‍රේලියාව සහ යුරෝපා සංගමයට අයත් තානාපතිවරුන් මෙම හමුවට සහභාගි විය.

ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ අප්‍රේල් 21 සිදුවීමත් සමග සංචාරකයන් සඳහා පනවා ඇති බාධක ඉවත් කර ගැනීමට සහය වන්නැයි ද ජනාධිපතිවරයා තානාපතිවරුන්ගෙන් ඉල්ලීමක් කළ බවයි.

ශ්‍රී ලංකාවට පැමිණීමේදී සිය රටවල් සංචාරකයන් සඳහා පනවා ඇති බාධා කඩිනමින් ඉවත් කිරීමට අවශ්‍ය මැදිහත්වීම සිදු කරන බව තානාපතිවරුන් එහිදී ප්‍රකාශ කර තිබේ.

හදිසි නීතිය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිතුමා ප්‍රකාශ කර ඇත්තේ, ආරක්ෂක අංශ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඒ පියවර ගත් බවයි.