ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් නුවර වෙසෙන ශ්‍රී ලාංකික දරු දැරියන් සඳහා ජන ගී පර්යේෂක සමන් ලෙනින් සහ ගායන ශිල්පිණි  නිලක්ෂි හෙළපිටිය විසින් පසුගියදා වැඩමුළුවක් පැවැත්වුවා.

චාල්ස් ඩාර්වින් විශ්වවිද්‍යාලයේ ඔරේන්ජ් 03 තියටර් හි පැවැත්වුණු  වැඩමුළුව සංවිධාන කර තිබුණේ ඩාර්වින් නුවර ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා මිත්‍රත්ව පදනමයි.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය නිශාන්ත විජේසිංහ මහතා පැවසුවේ ඩාර්වින් නුවර වෙසෙන ශ්‍රී ලාංකික දරුවන්ට ශ්‍රී ලාංකේය ජන සාහිත්‍ය සහ සංස්කෘතික වටිනාකම් පිළිබඳ අවබෝධයක් ලබා දීම මෙම වැඩමුළුවේ අරමුණ බවයි.

සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කරන සමන් ලෙනින් මහතා ශ්‍රී ලංකාවේ සිටින දක්ෂ ජන ගී පර්යේෂකයෙකි.

ඔහු සමග වැඩමුළුව මෙහෙයවනු ලැබුවේ දක්ෂ ගායන ශිල්පිණියක වන නිලක්ෂි හෙළපිටියයි.

සමන් ලෙනින් සහ නිලක්ෂි හෙළපිටිය ඉදිරිපත් කළ ”භූමි” ප්‍රසංගය ද පසුගිය සෙනසුරාදා ඩාර්වින් නුවරදි පැවැත්වුණා.
ඊට සහභාගිවූවන් පැවසුවේ ශ්‍රී ලංකාවට අනන්‍ය වු කලාවක් ඔස්ට්‍රේලියාවේ සිට සජීවීව රසවිඳීමට හැකි වීම භාග්‍යයක් බවයි.
ඔස්ට්‍රේලියාවේ නොදර්න් ටෙරිටරි රජයේ සහාය ඇතිව ප්‍රසංගය සංවිධාන කර තිබුණේ ඩාර්වින් නුවර ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා මිත්‍රත්ව පදනමයි.