අනුරාධපුර මානින්ගමුව කුඩා හල්මිල්ලවැව ප්‍රදේශයට පැමිණි වන අලින් එම ප්‍රදේශයේ දේපල සහ වගාවන්ට විශාල ලෙස හානි කර තිබේ.

ඊයේ රාත්‍රී ගමේ නිවසක් කඩා නිවසේ තිබූ වී කෑමට උත්සාහ කර ඇති අතර රාත්‍රී කෑමට සකසා තිබූ ආහාර ද සම්පූර්ණයෙන් ම විනාශ කර ඇත.

මෙලෙස ගම් වදින වන අලි ඇහැටුවැව අන්දර වැව කුඩා මානින්ගමුව ඇතුළු ප්‍රදේශ රැසක ගොවීන් ඉතා අසීරුවෙන් වගා කළ කෙසෙල්, පොල්, මඤ්ඤොක්කා, කොස් ආදී බෝගයන්ට දැඩි ලෙස අලාභහානි සිදු කර ඇති ආකාරය එහි ගිය අපට දැකගැනීමට හැකිවිය.

ප්‍රදේශවාසීන් පවසන්නේ සවස 5 ත් 6 ත් වන විට ගම් වදින වන  අලි උදෑසන 7- 8 පමණ වන තෙක් ගම්මානයේ සිටින බවයි.

මේ හේතුවෙන් කුඩා දරුවන්ට පාසල් යාමට දැඩි අවදානමක් ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.

මේ වන විට මෙම ගම්මානවල 15 දෙනෙකු පමණ වන අලි ප්‍රහාර වලින් මිය ගොස් ඇති බවත් විශාල පිරිසක් ආබාධිත තත්ත්වයෙන් පසුවන බවත් ගම්වාසීන් පෙන්වා දෙයි.

මේ පිළිබඳව බලධාරීන් කොතෙක් දැනුවත් කළත් නිසි විසදුමක් නොමැති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරයි.

ඔවුන් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් මේ සඳහා විසඳුමක් ලබා දෙන ලෙසයි.