නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ යහපත් පාලනයක් ඉදිරියේ දී රට තුළ ඇති කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 සහ 19 වන සංශෝධනයන් අහෝසි විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිතුමා සඳහන් කළේ 18 වන ව්‍යවස්ථා සංශෝධන ක්‍රමයේ තිබූ රාජාණ්ඩු හා ඒකාධිපති ස්වරූපය හේතුවෙන් නව ආණ්ඩුවක් පිහිටුවා 19 වන සංශෝධනය ගෙන ආවද එම සංශෝධනය හරහා එක දේශපාලන නායකත්වයක් යටතේ ගමන් කිරීමට නොහැකි වීමෙන් රටේ දේශපාලන අස්ථාවරත්වයක් ඇති වූ බවයි.

ඒ තුළ යහපාලන රජයේ අරමුණු ඉටුකර ගැනීමට නොහැකි වූ බවද හෙතෙම පැවසීය.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියට වසර 40ක් සපිරීම වෙනුවෙන් ඊයේ (23) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති සැමරුම් උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ අද රටට අවශ්‍යව ඇත්තේ ජනතා සිතුම් පැතුම් හඳුනන ජන හිතකාමී පාලනයක් බවත් ඒ සඳහා රටට ආදරය කරන සහ අවංක දේශපාලන නායකයින් සිටිය යුතු බවයි.