ලබන පාසල් වාරයේ සිට උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදෙන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා පැවසුවේ එම යෝධ පියවර ගන්නා ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාව බවයි.

උතුරු නැගෙනහිර පළාත් ස්වේච්ඡා ගුරුවරුන් සඳහා පත්වීම් ලිපි ප‍්‍රදානය කිරීම නිමිත්තෙන් ඊයේ (27) ත‍්‍රිකුණාමලය හින්දු සංස්කෘතික ශාලාවේ පැවැති උත්සවයක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.

අධ්‍යාපනය නවීකරණය නොකිරීම රටට කරන අසාධාරණයක් බව ද හෙතෙම සඳහන් කළේය.

ඔහු පැවසුවේ සුහුරු පන්ති කාමර, සුහුරු පාසල් සහ ටැබ් පරිගණක යන්ත‍්‍ර පහසුකම් සපුරාලමින් අනාගත තාක්‍ෂණ ලෝකයට ගැළපෙන පරපුරක් බිහි කිරීමට රජය කැපවී සිටින බවයි.

දැනට පරිගණක ක්ෂේත‍්‍රයේ රැකියා 90,000ක පුරප්පාඩු තිබෙන බව පෙන්වා දුන් අග‍්‍රාමාත්‍යවරයා එම පුරප්පාඩු සියල්ල පිරවීම සඳහා අවශ්‍ය අධ්‍යාපන පසුබිම සකස් කරන බව ද සඳහන් කළේය.