ලක්ෂ සංඛ්‍යාත තරුණ ජීවිත බිලිගනිමින් දිනෙන් දින ව්‍යාප්තවන නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම වළක්වමින් ජාතියේ සහ මතු පරපුරේ අනාගතය සුරක්ෂිත කිරීමට නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු පැවසුවේ මරණීය දණ්ඩනයට විරුද්ධව කථා කරන සියලූ පිරිස් මත්ද්‍රව්‍ය ජාවාරමට සහය වන්නන් බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ පොළොන්නරුව, ලංකාපුර විජිත මහා විද්‍යාලයේ අද (28) පෙරවරුවේ පැවති උත්සවයක් අමතමිනි.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට තමා අත්සන් තැබුවේ කිසිවෙකු කෙරෙහි වෛරයෙන් හෝ ක්‍රෝධයෙන් නොව මෙම දරුණු සමාජ ව්‍යසනයෙන් ජාතිය සහ මතු පරපුර බේරාගැනීම සදහා බවයි.

එබැවින් එම වැඩපිළිවෙළ ආපසු හැරවීමට කිසිවෙකු උත්සහ නොදැරිය යුතු අතර එක්සත් ජාතින්ගේ මහලේකම්වරයා සමඟ ද තමා මේ පිළිබඳව ඊයේ රාත්‍රීයේ දුරකථන සංවාදයක නිරතවෙමින් කරුණු පැහැදිලි කළ බව ජනාධිපතිවරයා කියා සිටියේය.