තමන්ගේ ජීවිතයට හෝ අනුන්ගේ ජීවිතයට හානි කිරීම බුද්ධ ධර්මයට අනුකූල නොවන නිගන්ඨ නාථගේ ධර්මයට අනුකූල ක්‍රියාවක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු පෙන්වා දුන්නේ එහෙයින් මාරාන්තික උපවාස කිරීම බුදු දහමට අපහාසයක් බවයි.

සුළු සිද්ධියක් මහමෙරක් සේ විශාල කර පෙන්වීමට ජනමාධ්‍යයන්ට හැකි වුවත්, නිගන්ඨ නාථ පුත්‍රයන්, බුද්ධ පුත්‍රයන් බවට පත් කිරීමට ජනමාධ්‍යයට හැකියාවක් නොමැති බව ද වික්‍රමසිංහ මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ඊයේ (28) ලග්ගල, නගරයේ පැවැති ඉඩම් හිමිකම් ඔප්පු සහ සමෘද්ධි හිමිකම් ලබාදීමේ උත්සවය අමතමිනි.

මෙහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ අන්තවාදය හා ජාතිවාදය කිසි විටෙක බුද්ධ ධර්මයට අනුකූල නොවන බවයි.

තමන්ගේ භාෂාව, ජන වර්ගය හා ආගම පිළිබඳව ආඩම්බර වීමට ඕනෑම කෙනෙකුට අයිතියක් ඇති බව පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා, ඒ සමඟම සියලූ දෙනාම ශ්‍රී ලාංකිකයන් ලෙස ද ආඩම්බර විය යුතු බව පෙන්වා දුන්නේය.