සියලු ජන කොටස් සහෝදරත්වයෙන් ජීවත්වන විනයගරුක සහ සාමකාමී රටක් ගොඩනැඟීමට දැයේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම ඉතා වැදගත් බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ පොළොන්නරුව, තඹාල අල් හිලාල් මුස්ලිම් විද්‍යාලයේ නව තෙමහල් විද්‍යාගාර ගොඩනැඟිල්ල සිසු අයිතියට පවරාදිමේ අවස්ථාවට ඊයේ(28) එක් වෙමිනි.

රට තුළ ජාතින් වශයෙන් බෙදී වෙන්වී ගැටුම් ඇති කරගතහොත් කිසිදු ජන කොටසකට යහපතක් සිදු නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටේ සියලු ජනකොටස් සහෝදරත්වයෙන් සහ සාමයෙන් ජීවත්වන සංවර්ධන වැඩපිළිවෙකට තමා කැප වී සිටින බව ද පැවසීය.

පිබිදෙමු පොළොන්නරුව දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 186ක් වැය කරමින් තඹාල අල් රිෆායි මහා විද්‍යාලයේ ඉදිකෙරුණු පංති කාමර 08කින් යුත් දෙමහල් ගොඩනැගිල්ල ද ජනාධිපතිවරයා අතින් සිසු අයිතියට පත් කෙරිණ.