අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් මහතා හමුවෙයි.

මෙම හමුව උතුරු – දකුණු කොරියානු දේශසීමාවේ පිහිටි පන්මුන්ජොම් ගම්මානයේදී සිදුවිය.

අන්තර් කොරියානු යුධ මුක්ත කලාපයේ දෙපැත්තේ සිට ට්‍රම්ප් සහ කිම් ජෝන් උන් අතට අත දී උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

අනතුරුව උතුරු කොරියානු නායකයා සමඟ ඇමරිකානු ජනාධිපතිවරයා අන්තර් කොරියානු යුධ මුක්ත කලාපය හරහා උතුරු කොරියානු පන්මුන්ජෝම් ගම්මානයට ප්‍රවේශ වුයේ උතුරු කොරියානු දේශසීමාවට පය තැබු පළමු ඇමරිකානු නායකයා බවට පත්වෙමිනි.

එහිදී නැවතත් නායකයින් දෙපළ අතට අත දී පිළිගනු ලැබු අතර ඡායාරූප කිහිපයකට ද පෙනී සිටියහ.

පසුව ඇමරිකානු හා උතුරු කොරියානු නායකයින් අන්තර් කොරියානු යුධ මුක්ත කලාපයේ දකුණු කොරියානු සීමාවට පැමිණි අතර එහිදී දකුණු කොරියානු ජනාධිපතිවරයා ද ඒ අවස්ථාවට එක් විය.

එහිදී  උතුරු කොරියානු නායකයා ට්‍රම්ප් මහතා වෙත කියා සිටියේ අයහපත් අතීතය අමතක කර දමා හොද අනාගතක් අපේක්ෂා කිරීම තම අරමුණ බවයි.

මෙම හමුව ඉතිහාසගත සිද්ධියක් බව පැවසු ඇමරිකානු ජනාධිපතිවරයා තමන් උතුරු කොරියානු නායකයා සමඟ විශිෂ්ට සම්බන්ධතාවක් ගොඩ නගා ඇතැයි පැවසීය.

ජපානයේ ඔසාකා නගරයේ පැවති ජී 20 නායක සමුළුව නිම කිරීමෙන් අනතුරුව ඇමරිකානු ජනාධිපතිවරයා දකුණු කොරියාවට ගොස් පසුව උතුරු කොරියානු නායකයා හමුවිය.